Local News

වතු කම්කරු මූලික වැටුප රුපියල් දහසට නංවන තෙක් 'දිගට ම උද්ඝෝෂණ'

තේ කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය සහ මැද පෙරදිග ගෘහ සේවය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන ක්ෂේත්‍ර තුනකි. එකී ක්ෂේත්‍ර තුනෙහි ම බර දරන්නේ, රටේ මව්වරුන්ය, සහෝදරියන්ය, දියණියන්ය.


නිදහස් වෙළෙඳ කලාපය ඇතුළු රට පුරා පවතින ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නිරත තරුණියන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා අපමණය. එමෙන් ම මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල ගෘහ සේවය සඳහා යන ලක් දියණියන් නියමිත වැටුප් ද නොලබා විඳින වධ වේදනා සම්බන්ධයෙන් නිතර වාර්තා පළ වේ.


තේ කර්මාන්තය සඳහා දායක වන අතිබහුතරය කාන්තාවන්ය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ සිය මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවන ලෙස වතු කම්කරුවන් ඉල්ලා සිටින්නේ මේ අතරතුරදීය.


මේ අතර, වතු කම්කරු මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩි කිරීමට වතු සමාගම් එකඟ වී ඇත.




එස් පුෂ්පරාණි තේ දලු නෙළන්නියකි. සිව් දරු මවක වන ඇයගේ වයස අවුරුදු තිස් තුනකි. සිය දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු පාසල් යන බව පවසන ඇය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සිය වැටුප ප්‍රමාණවත් නොවන බව පවසන්නීය.


"දවසකට තේ කිලෝ විසි පහක් විතර කඩනවා. රුපියල් හාරසීයක්, පන්සීයක් වගේ ගාණක් තමයි ලැබෙන්නේ. ඒකෙන් ජීවත් වෙන්නේ කොහොම ද? කෑමබීමට බඩු ගත්තට පස්සේ ළමයින්ගේ ඉස්කෝලේ වැඩවලට ඒ ගාණ මදි,"


"ඒ නිසා ගෙදර එක්කෙනා කුලී වැඩට යනවා. ඒකෙන් දාහක් හම්බ වෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ," ඇය පවසන්නීය.













































































වසරමූලික දෛනික වැටුප (රුපියල්)මිල දර්ශක දීමනාව (රුපියල්)දිරි දීමනාව (රුපියල්)මුළු දෛනික වැටුප (රුපියල්)
2010285.0030.0090.00405.00
2011380.0030.00105.00515.00
2012380.0030.00105.00515.00
2013450.0030.00140.00620.00
2014450.0030.00140.00620.00
2015450.0030.00140.00620.00
2016500.0030.00200.00730.00
2017500.0030.00200.00730.00
2018500.0030.00200.00730.00


(මූලාශ්‍රය: වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය )


2010 වසරේදී වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 210 කි. මේ වන විට එම වැටුප රුපියල් 730 ක්ය. වතු කම්කරුවන් මූලික දෛනික වැටුප අවස්ථා කිහිපයකදී ඉහළ දැමුණේ ඔවුන් විසින් ගන්නා ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙනි.


සාමාන්‍යයෙන් වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වන්නේ, එකී ප්‍රජාව නියෝජනය කරන මහජන නියෝජිතයන්ය. විශේෂයෙන් තේ කම්කරුවන්ගේ ඇතැම් ඉල්ලීම් දිනා දීම සඳහායයි පවසමින් ඔවුන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇතැම් ජනතා නියෝජිතයන් පිල් මාරු කළ අවස්ථා දුලභ නොවේ.


නමුත් මෙවර වතු කම්කරු වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා ගෙන යන අරගලයට ඇතැම් වාමාංශික පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරීන් ද එක්ව සිටීම විශේෂත්වයකි.



තේ
Image caption"ගෙදර එක්කෙනා කුලී වැඩට යනවා. ඒකෙන් දාහක් හම්බ වෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ"

වතු කම්කරු මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා නංවන ලෙස ඉල්ලා කොළඹ සහ හැටන් ඇතුළු ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ පවත්වා ඇති අතර එවැනි උද්ඝෝෂණ සඳහා සහභාගී වූ එක් සංවිධානයකි, "1000 ව්‍යාපාරය".


පසුගිය දිනක කොළඹ පැවති විරෝධතා ව්‍යාපාරයකදී එම සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක්වූ ගීතිකා ධර්මසිංහ කියා සිටියේ, වතු සමාගම්වලට සිය කම්කරුවන් වෙත රුපියල් 1000ක වැටුපක් ලබා දීමට නොහැක්කේ ඇයි දැයි යන්න විමසා බැලිය යුතු බවය.


රුපියල් 1000 වැටුප ලබා දෙනු වස් වතු සමාගම් වෙත පීඩනයක් එල්ල කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් පෙළගැසිය යුතු බව ඇය අවධාරණය කරන්නීය.




මේ අතර, වතු කම්කරු මූලික දෛනික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා දියත් කෙරෙන විරෝධතා සඳහා එක්ව සිටින ප්‍රැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, "වතු කම්කරු අයිතීන් දිනා ගැනීම සඳහා සිටි බව කී වෘත්තීය සමිති එම ප්‍රජාව වෙනුවෙන් ඓතිහාසික වශයෙන් කිසිවක් කර නැහැ," යනුවෙනි.


ඓතිහාසික වශයෙන් වතු කම්කරුවන් "වහල්භාවයට" පත් කර ඇති බව කී ඔහු වතු ප්‍රජාව නියෝජනය කරන තරුණ පරපුර සිය අයිතීන් දිනා ගැනීම සඳහා මෙවර ඉදිරියට පැමිණ ඇති බව සඳහන් කළේය.




"අප මේ සඳහා මැදිහත් වුණේ වාම සමාජය නියෝජනය කරමින්. සිවිල් සමාජය වශයෙන් හඳුනා ගනු ලබන පිරිස් පවා තේරුම් ගත්තා වතු කම්කරුවන් මූලික කර ගත් සාම්ප්‍රදායික වෘත්තීය සමිති කිහිපය මත තවදුරටත් වතු කම්කරුවන්ගේ ඉරණම තීන්දු නොවන බව,"


"ඒ වගේ ම මධ්‍යම පාන්තික ඇතැම් ප්‍රගතිශීලී කොටස් පවා මේ සම්බන්ධයෙන් සානුකම්පිත වීමට පටන් ගත්තා,"



තේ

කෙසේ නමුත්, සිය ඉල්ලීම් ඉටු කෙරෙන තෙක් කොළඹ මුල් කර ගත් වාමාංශික ව්‍යාපාර සහ වෙනත් ප්‍රගතිශීලී සංවිධානවල සහයෝගය ද වතු කම්කරුවන්ගේ සහභාගීත්වය ද ඇතිව කඳුරට ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වෙනු ඇති බව විදර්ශන කන්නන්ගර වැඩිදුරටත් සඳහන් කළේය.


"ඒක කොළඹින් කරන දෙයක් නොවෙයි. කඳුකර ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් සහ කොළඹ සිටින වාමාංශික සහ වෙනත් පාර්ශවවල සහයෝගයෙන් එය සිදු වන්නේ,"




වතු කම්කරුවන්ගේ දෛනික වැටුප පමණක් නොව ඔවුන්ගේ අයිතීන් පවා රැඳී ඇත්තේ, වතු හිමියාගේ ආධිපත්‍ය යටතේ බව ඔහුගේ අදහසය.


"රෝහලට යන්න අවසර ගත යුතුයි. පොලිසියට යනව නම් අවසර ගන්න ඕනි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා නම් අවසර ගත යුතුයි. වැටුප පැත්තකින් තිබ්බත් ඔවුන්ගේ මුළු ජීවිතය ම තියෙන්නේ වතු හිමියාගේ අණසක යටතේ,"


"එතකොට වතු කම්කරුවා ඉන්නේ අර්ධ වහල්භාවයක"



තේ

මේ අතර, වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට මැදිහත් නොවන්නේ නම් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම පිළිබඳ තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මීට පෙර පවසා තිබිණි.


එම සන්ධානය නියෝජනය කරන අමාත්‍ය පලනි දිගම්බරම් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වතු කම්කරුවෙකුට රුපියල් දහසක දෛනික වැටුපක් ද ප්‍රමාණවත් නොවන්නේයැයි යන්න තම මතය බවය.


නමුත් පාඩු ලබන බැවින් එවැනි වැටුපක් ලබා දිය නොහැකි බව වතු සමාගම් පවසන්නේයැයි කී ඇමතිවරයා වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 50 ක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව එකඟ වී ඇති බව පැවසීය.




"අපි එළියේ ඉඳන් මේ සඳහා සටනක් ගෙන ගියා. අයවැයෙන් ප්‍රකාශ කරන්න යනවා අවුරුද්දක කාලයක් සඳහා දවසකට රුපියල් පනහක් දෙන්නම් කියලා. ඒ සඳහා රුපියල් මිලියන එක් දහස් තුන්සීයක් වෙන් කර තිබෙනවා,"


"එතකොට දවසට රුපියල් හත්සිය පනහක් ගන්නවා නම් ඒ අයට මෙමගින් රුපියල් අට සීයක් ලැබෙනවා,"


කෙසේ නමුත් සිවිල් කණ්ඩායම් යැයි හඳුන්වා ගනු ලබන ඇතැම් පිරිස් උද්ඝෝෂණ සඳහා එක් වී "ඡන්ද කැඩීමේ උත්සහයක" නිරතව සිටින බවට ද ඇමතිවරයා චෝදනා කරයි.


වතු කම්කරුවන් තවමත් "අර්ධ වහල්භාවයක" ඉන්නේ දැයි කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේ, "ඒවා බොරු කතන්දර. ඒවා ඒ කාලේ තිබ්බේ. දැන් දරුවෝ ඉගෙන ගන්නවා. තත්ත්වය වෙනස් වෙලා. හැබැයි එකක් තිබෙනවා ඒ ඇයගේ ජීවන තත්ත්වය ඉහළ නංවා නැහැ," යනුවෙනි.


ඒ සඳහා වත්මන් ආණ්ඩුව සමග එක්වී වෙන ම වැඩසටහනක් ගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


BBC Sinhala

About Admin

2 Comments:

  1. http://mewkid.net/order-amoxicillin/ - Amoxicillin Online Amoxicillin wsa.xukn.pmnosrilanka.com.ctw.xb http://mewkid.net/order-amoxicillin/

    ReplyDelete
  2. http://mewkid.net/order-amoxicillin/ - Amoxicillin 500 Mg Amoxil Side Affects jun.zthy.pmnosrilanka.com.jdu.cb http://mewkid.net/order-amoxicillin/

    ReplyDelete

Powered by Blogger.