Breaking News

පාස්කු ප්‍රහාරය සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් තරුණ පරපුර.









රිෂාඩ්


"මේ ප්‍රහාරයෙන් පස්සේ දැන් මම ලංකාවෙන් යන්න හොයනවා. එක රැයකින් මට ලංකාවේ සියලු දෙනා ගැන කලකිරුණා. මේ ප්‍රශ්නය විසඳුනත් හිතේ තියන කැළැල් මැකිලා යයිද? බෝම්බවලට අහුවෙලා මිනිස්සු දෙසීයක් තුන්සීයක් මැරුණා. ඒක ආයෙත් රිවර්ස් කරන්න බැහැනේ. අනික් අතින් මේ ප්‍රහාරය එල්ල වෙන්න කලින් ඉඳලා මේ තත්ත්වය වර්ධනය වෙමින් තිබ්බා නේද?

"මේක මම ඉපදුන රට. මම අවුරුදු පහක් UK ඉඳලා MBA එක කරලා ලංකාවට ආවේ රටට සේවයක් කරන්න. මගේ යාලුවෝ මට බැන්නා, ලංකාවට එන්න එපා ඔහේ සෙට්ල් වෙයං කියලා. ඒත් ලංකාවට මම ආවේ ඉපදුනු රටේ මැරෙන්න ඕන නිසයි."

තුවාන්


"ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් (බෙදා පාලනය කිරීම) කියන සංකල්පය. උදාහරණයකට සමහර සමාගම් තියෙනවා පර්ෆෝමන්ස් මත සේවකයෝ බෙදා වෙන් කරනවා. එතකොට එකිනෙකා අතරේ තරගය වැඩි වෙනවා. ඒ එක්ක කම්පැනියට ලාභ වැඩි වෙනවා. ඒකම තමයි ලංකාවෙත් වෙන්නේ. ලංකාව ඩිවයිඩ් කරලා තියන තරමට දේශපාලනඥයෝ ලාභ ලබනවා.

"මුස්ලිම් කොංග්‍රසය කියන පක්ෂයට මම ජීවිතේට ඡන්දය දීලා නැහැ. මගේ අම්ම තාත්තා දීලත් නැහැ, සීයා ආච්චි දීලත් නැහැ. එතකොට දෙමළ අය වෙනුවෙන් කියල, දෙමළ සන්ධානය කියල පක්ෂයක් තියෙනවා. සිංහල අයට කියල හෙළ උරුමය වගේ පක්ෂ බිහි වෙලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? එතනින් වාසි ගන්නේ කවුද? ඩිවයිඩ් වෙලා යුද්ධයක් ඇති වුණාම ඒකෙ වාසිය යන්නේ ඔය කියන දේශපාලනඥයන්ට."

අනතුරක 'පෙරනිමිති"මුස්ලිම් දරුවෝ ඉස්කෝලේ ගිහින් අවුරුදු දහඅට වෙනකම් ඉගෙන ගන්නේ ඉස්ලාම්. බෞද්ධ ළමයි ඉගෙන ගන්නේ බුද්ධාගම. ක්‍රිස්තියානි භක්තිකයෝ ඉගෙන ගන්නේ ක්‍රිස්තියානි ආගම"


රිෂාඩ් සහ තුවාන් පාසල් වියේ සිට මිතුරන්ය. මා හට ඔවුන් හමු වූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වී සති කිහිපයකට පසු කොළඹදීය. ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වාර්ගික කොටස් අතර පවතින අන්නෝන්‍ය සුහදත්වය පළුදු වීම සහ මුස්‌ලිම ජනයා කෙරෙහි බියසැක ඇතිවීම(Islamophobia) පිළිබඳ ඔවුන් පළ කළ අදහස්ය.

ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබීමත් සමග ශ්‍රී ලාංකික මුස්ලිම් ආගමික ප්‍රජාව තුළ පවතින ඇතැම් බෙදීම් පෙර නොවූවිරූ ලෙස සෙසු සමාජය හමුවේ නිරාවරණය විය.

කොළඹ සුෆි මුස්ලිම් දේවස්ථානයක් සහරාන් කණ්ඩායමේ ඉලක්කය බවට පත්වීමේ අනතුරක් ඇතැයි වාර්තා වන බව සඳහන් කළ අවස්ථාවක මාගේ මිතුරෙකු පෙරලා ප්‍රශ්න කළේ "මුස්ලිම් අය මොකටද මුස්ලිම් අයටම ගහන්නේ?" යනුවෙනි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කර ඇතැයි සැලකේ. දෘෂ්ටිවාදීමය පරස්පරතා හේතුවෙන් සහරාන්ගේ ගොදුරු බවට පත් තවත් මුස්ලිම්වරු පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් පවතී.

කරුණු එසේ තිබියදී "ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා" සමස්ථ මුස්ලිම් ප්‍රජාවට "එක් හැන්දකින් බෙදීම" හමුවේ ඇතැම් මුස්ලිම් තරුණයන් අන්තවාදයට තල්ලු වීමට ඇති ඉඩ පිළිබඳ බැරෑරුම් ලෙස අවධානය යොමු කළ යුතු බව මැලේ මුස්ලිම් ප්‍රජාවට අයත් රිෂාඩ් සහ තුවාන්ගේ අදහසය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ද වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් යාවත්කාලීන විය යුතු බව ඔවුහු පවසති.

රට ගිනි තියන "නිකම්මු"


Mohammad Razak Taslim in hospital, with his wifeපාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කොට 250 කට අධික පිරිසක් ඝාතනය කළ ඉස්ලාමීය රාජ්‍යට සම්බන්ධ අන්තවාදී ජාලයේ ගොදුරු බවට පත් පුද්ගලයන් අතරින් රසාක් තස්ලීම් එක් අයෙකු බව පොලිසිය විශ්වාස කරයි

රිෂාඩ්


"අපි ආගම, ජාතිය වැනි කරුණු දිහා විවෘතව බලන නිසා අපට මේ තත්ත්වය තේරුම් ගත හැකියි. කොළඹ සමාජය මික්ස් වෙලා ඉන්නේ. අපිට ගොඩක් සිංහල, දෙමළ, නැතිනම් ක්‍රිස්තියානි යාලුවෝ ඉන්නවා. සෙට් එකම එකට ඉන්නේ. කන්නේ බොන්නේ, යන්නේ එන්නේ එකට. සාපේක්ෂව කොළඹ සමාජය තුළ සියලු ජාතීන්, ආගම්වලට අයත් මිශ්‍ර සමාජයක් තියෙන්නේ. හැබැයි කොළඹ ඇරුනම ලංකාවේ තව කොච්චර වෙන නගර තියෙනවද?"

"ජාතිවාදී වැඩවලට ගොඩක් පෙළෙඹෙන්නේ හවසට කඩවල් ළඟ නැතිනම් මුස්ලිම් පල්ලි ගාව සෙට් වෙන අය. ඒ වගේ නිකම්මුන්ගෙන් වැඩි දෙනෙක් වෘත්තිමය සුදුසුකම් නැති අය."

තුවාන්


"පොඩ්ඩක් හවසට ගමකට යන්න. නිකන් ඉන්න තරුණයෝ කොච්චර ඉන්නවද? ලංකාවේ ප්‍රඩක්ෂන් (නිෂ්පාදනය) අඩු ඇයි? ගොඩක් අය නිකන් ඉන්නේ. හරි රස්සාවක් නැහැ. ගෙදර ඉන්නකොට මිනිස්සුන්ට මොකද වෙන්නේ? මොළේ විකෘති වෙනව නේද? ස්මාර්ට් ෆෝන් එකක් කීයද? රුපියල් හත්දායි. රුපියල් සීයේ කාඩ් එකක් දැම්මම 1 GB විතර ඩේටා හම්බ වෙනවා. ඊට පස්සේ FB ඇවිල්ලා රට ගිනි තියනවා. අන්තිමට රට සුන්නද්දූලි වෙලා යනකම් කවුරුත් දන්නේ නැහැ."

අධ්‍යාපන ක්‍රමය සහ ආගම


ඉස්ලාම්"පොඩි කාලේ ළමයව වෙන ජාතීන්ගෙන්, අගමිකයන්ගෙන් වෙන් කරලා තියලා අවුරුදු දහඅට වෙලා සමාජෙට ආවම කියනවා ජාති භේදෙ එපා පුතේ කියලා"

ඉහත කී ආකාරයේ පසුගාමී චින්තන රටාවකින් බැහැරව අනාගතය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දැඩි වෙනසකට ලක් විය යුතු බව රිෂාඩ් සහ තුවාන්ගේ අදහසය.

රිෂාඩ්


"මුස්ලිම් දරුවෝ ඉස්කෝලේ ගිහින් අවුරුදු දහඅට වෙනකම් ඉගෙන ගන්නේ ඉස්ලාම්. බෞද්ධ ළමයි ඉගෙන ගන්නේ බුද්ධාගම. ක්‍රිස්තියානි භක්තිකයෝ ඉගෙන ගන්නේ ක්‍රිස්තියානි ආගම. එතකොට ඒ, ඒ අය ආශ්‍රය කරන්නෙත් ඒ, ඒ ආගමේ යාලුවෝ විතරයි. ඉස්කෝලෙන් පිටතට ආවම ගෙදරත් එහෙමයි. ගොඩක් වෙලාවට අසල්වැසියොත් එකම ජාතියේ, එකම ආගමේ. ඉතින් අනෙකා ගැන නොදැන අපි කොහොමද අනෙකාගේ ආගමට ගරු කරන්න ඉගෙන ගන්නේ?

"පොඩි කාලේ ළමයව වෙන ජාතීන්ගෙන්, අගමිකයන්ගෙන් වෙන් කරලා තියලා අවුරුදු දහඅට වෙලා සමාජෙට ආවම කියනවා ජාති භේදෙ එපා පුතේ කියලා. ලංකාවේ තියෙන්නේ ආකල්පමය ප්‍රශ්නයක්."

"අවුරුදු ගානක් එකම ආගම ගැන ඉගෙන ගන්නේ මොකටද? අපි ස්කොලර්ස්ලා (ආචාර්යවරු) වෙන්න යන්නනේ නැහැනේ. පන්සිල් පද පහ දැන ගත්තනම්, උදේට හවසට අමම්ට තාත්තට වඳින ගාථාව දැන ගත්තනම්. පෝයට සිල් ගන්නවනම් ඒ බේසික් ටික (මූලික කරුණු) ඇති නේද ලෝකය වෙනස් කරන්න? ඉස්ලාම් ආගම ගත්තොත් කොහොමද පස් වේල වඳින්නේ. කොහොමද නෝම්බි අල්ලන්නේ, වඳින්නේ කරන්නේ කොහොමද, දෙමව්පියන්ට වඳින්නේ කොහොමද, ඒවා තමයි බේසික්. ඔය ටික දැන ගත්තනම් මදිද? ලංකාවේ සාක්ෂරතාව ඉතා ඉහළයි, හැබැයි බුද්ධිමත්ව, තාර්කිකව යමක් ගැන සිතන්න පුළුවන් අය අඩුයි. ලංකාවේ උගත්තු ඉන්නවා, හැබැයි බුද්ධිමතුන් නැහැ. එහෙම වුණා නම් අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ. මේ පාස්කු ඉරිදා වෙච්ච දේ එක රැයකින් වුණු දෙයක් නෙවෙයි. මේකට නිදහසෙන් පස්සේ ගෙවුණු අවුරුදු හැත්තෑවම වගකිව යුතුයි."

සිය මිතුරාගේ අදහස අනුමත කරමින් තුවාන් සංවාදයට එක් වෙයි. මේ තරුණයන් දෙසින් නැගෙන්නේ සමස්ථ ශ්‍රී ලාංකකීය තරුණ පරපුර පොදුවේ මුහුණ දෙන අත්දැකීම් නොවේද?

තුවාන්


"අනික රට පාලනය කළේ, කරන්නේ එක පැලැන්තියක් විතරයි. අපි හිතනවා සේනානායකලා වෙනස්, බණ්ඩාරනායකලා වෙනස්, ජයවර්ධනලා වෙනස්, වික්‍රමසිංහල වෙනස්, රාජපක්ෂලා වෙනස් කියලා. නැහැ, මේ ඔක්කොම එකම පැලැන්තියක කට්ටිය. අපි වගේ අනික් මිනිස්සු වහල්ලු. ලංකාවේ අපි ගෙවන ටැක්ස්වලට හම්බවෙන දෙයක් තියනවද? අද උදේ ආර්එම්වී (මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව) එකට ගියා වැඩක් කර ගන්න. පැය කීයක් රස්තියාදු වුණාද? අපි මිනිස්සු බල්ලෝ නෙමෙයිනේ. හොස්පිටල් එකට ගියොත් මොකද වෙන්නේ? ලෙඩා ඉන්න ඕනි තඩි පෝලිමක රෙජිස්ටර් වෙන්න. ලංකාවේ සෞඛ්‍ය හොඳයි කියනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් බලන්න කී දෙනෙක් ඇඳන් යට ඉන්නවද කියලා?"

බුර්කාව


මුහුණු ආවරණ"මම බුර්කා එක දැකල තිබ්බේ නැහැ. ඒක දැක්කේ ළඟදී. ඇයි එහෙම වුණේ?"

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය බහුතර සිංහල සමාජයෙන් ඈත්වෙමින් පවතින බව ඇතැම් බෞද්ධ ආගමික නායකයන් එල්ල කරන චෝදනාවකි. විශේෂයෙන් ඇතැම් මුස්ලිම් කාන්තාවන් ඇඟලන බුර්කාව පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක් විය. ඒ සම්බන්ධයෙන් රිෂාඩ් සහ තුවාන් දක්වන්නේ කුමන අදහසක්ද?

"මම පොඩි කාලේ මුස්ලිම් කාන්තාවන් සල්වාර් ඇඳන් ගියා. හැබැයි සිංහල කාන්තාවන්, හින්දු කාන්තාවන්, ක්‍රිස්තියානි කාන්තාවන් ඒ අයත් සල්වාර් ඇන්දා. මම බුර්කා එක දැකල තිබ්බේ නැහැ. ඒක දැක්කේ ළඟදී. ඇයි එහෙම වුණේ?" තුවාන් ප්‍රශ්න කරයි.

නමුත් පාස්කු ප්‍රහාරය සහ ඊට සම්බන්ධ වූ අන්තවාදී කොටස් සහ ඉන් අනතුරුව හටගත් බුර්කා විරෝධය අතර සැබෑ සම්බන්ධයක් පවතින්නේ දැයි යන්න හොඳින් සිතා බලන ලෙස රිෂාඩ් සහ තුවාන් ලාංකීය සමාජයෙන් ඉල්ලීමක් කරති.

රිෂාඩ්


"ගොඩක් මුස්ලිම් අය රැකියා සඳහා මැදපෙරදිග ගියා. මම දකින විදිහට ඒ එක්ක අරන් ආපු දෙයක් තමයි බුර්කා සංස්කෘතිය. හැබැයි අනෙක් අතින් කාට හරි කියන්න පුළුවන් ඒක ඇඳුමක් විතරයි කියලත්. පාස්කු ප්‍රහාරයත් එක්ක සමාජය විසින් එය ගැටලුවක් කර ගෙන එය ඉවත් කළා. එහෙම කරපු එක ගැන ප්‍රශ්නයක් නැහැ, මොකද පෞද්ගලිකව මම බුර්කාව පිළිගන්නේ නැහැ. නමුත් ප්‍රශ්නය වෙන්නේ බෝම්බ ගහපු එක්කෙනෙකුවත් බුර්කා ඇඳන් ආවේ නැහැ, බුර්කා ඇඳගෙන අපරාධ කළා කියලා වාර්තා වෙන්නේ නැහැ. නමුත් බෝම්බ ගහපු ගමන් මිනිස්සු කිව්වේ බුර්කා එක තහනම් කරන්න කියලා."

"ප්‍රශ්නය එක තැනක තියාගෙන ගල ගහන්නේ වෙන තැනකට. ඒත් උත්තරය තියෙන්නේ ගල වදින තැන නෙමෙයි වෙන තැනක. ලංකාව ඒ දේට කොහොමත් ප්‍රසිද්ධයි. මේ යන සමාජ ක්‍රමයත් එක්ක කොහොමටවත් මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැහැ. ලංකාවේ මිනිස්සු මුලින්ම ආකල්පය වෙනස් කර ගන්න ඕනි. ඒ නිසයි මුලින්ම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය. මගේ යාළුවා තුවාන්ගේ ළමයි දෙන්නා ඉස්කෝලෙකට දාගන්න සෑහෙන්න ට්‍රයි කළා මොකද එතන ජාතිය ප්‍රශ්නයක් වුණා."

"දැන් කොළඹ ගත්තොත් ගොඩක් තියෙන්නේ මොන ඉස්කෝලද බලන්න. මිෂනරි ස්කූලස්. කතෝලික පාසල්වලට බෞද්ධ, මුස්ලිම් දරුවෝ ගන්නේ නැති වුණාම මොකද කරන්නේ ? එතකොට විකල්ප ඉස්කෝල ඇති වෙනවා. ඇයි ඉතින් ළමයි ඉස්කෝලේ යන්න එපෑ. අපි දකිනවා මුස්ලිම් දරුවන් වෙනුවෙන් එහෙම ගොඩක් පොඩි පොඩි පෞද්ගලික පාසල් ඇති වෙලා තියෙනවා. ඇයි මේ සියලුම පාසල් ජාතික පාසල් කරලා සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ළමයි ඒවාට ගන්න බැරි?"

"එහෙම බලනකොට දැන් කොළඹ බෞද්ධයි කියල කියන්න පුළුවන් ඉස්කෝලත් නැහැනේ. එහෙම ගත්තොත් ඉහළ පෙළේ කියල කියන පිරිමි පාසල් විදිහට තියෙන්නේ ආනන්ද, නාලන්ද විතරයි. සහිරා එක මුස්ලිම් අයට විතරක් සීමා වෙන්න ඕනි නැහැ. මේ තියන ක්‍රමය අනුව ඉස්කෝලෙන්ම තමයි ජාති භේද ආරම්භ වෙන්නේ."

පාස්කු ප්‍රහාරයෙන් පසු


sri lankaImage copyrightGETTY IMAGES
Image caption"ආගම ජාතිය කියන දේ කිසිම මොහොතක අපට බලපෑවේ නැහැ. නමුත් දැන් ඒක අපිට ප්‍රශ්නයක් වෙලා"

ප්‍රහාරයෙන් පසු මුස්ලිම්වරුන් වශයෙන් ඔවුන් මුහුණ දී ඇත්තේ කුමන තත්ත්වයකට දැයි මම රිෂාඩ් සහ තුවාන්ගෙන් විමසුවෙමි.

"ලොකු කලකිරීමක් දැනුණා. මනුස්සයෙක් මරණවා කියන්නේ මහා අපරාධයක්. ඒක වචනයෙන් කියන්න බැරි අපරාධයක්. සමූල ඝාතනයක් ඒ කළේ. ඒක කරපු මනුස්සය ඉගෙන ගෙන තියෙන්න පුළුවන් නමුත් මනසින් දුර්වලයෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට මතක් වුණේ මගේ දරුවන්ට මෙහෙම වුණොත් මගේ ජීවිතේම ඉවරයි නේද කියලා. අපි දෙන්නට කඳුළු ආවා ඇයි බං මෙහෙම දේවල් වෙන්නේ කියලා." තුවාන්ගේ මුවින් එම වචන පිට වූයේ හැඬුම් බරවය.

"මැදපෙරදිග ඉඳන් එන ගෑනු කෙනෙකුට පලතුරු ගෙඩියක් එහෙන් ගේන්න බැහැ. හැබැයි මේ හොයා ගන්න ආයුධ, ප්‍රහාරවලට යොදා ගත්ත පුපුරන ද්‍රව්‍ය කොහෙන්ද රටට ආවේ?. ඒ කියන්නේ මේ දේවල් රට ඇතුලට ගේන්න පුළුවන් කවුරුහරි ඉන්නවා කියන එකද?. නයාගේ ඔලුව මැරුව නම් කඳ මරන්න දෙයක් නැහැ නේද? ඇයි ඔලුව අල්ලන්න බැරි? ඒ කියන්නේ මෙතන පිටුපස දේශපාලන වාසි තියෙනවා."

රිෂාඩ්, තුවාන්ගේ කතාවට අඩුවැඩිය එක් කළේ පාසල් කාලයේ අත්දැකීම් සිහිපත් කරමිනි.

"ලංකාවෙන් යන්න හොයනවා"


රිෂාඩ්


"අපි, අපේ යාළුවො එක්ක සංහිඳියාවෙන් ජීවත් වුණා. ආගම ජාතිය කියන දේ කිසිම මොහොතක අපට බලපෑවේ නැහැ. නමුත් දැන් ඒක අපිට ප්‍රශ්නයක් වෙලා. ඉස්කෝලේ යන කාලේ බත් එක දිග ඇරියම ඔලුව උඩින් අත් ආවේ. ඒ යාළුවො අද අපෙන් ප්‍රශ්න කරනවා උඹලා මේවා දැනගෙන හිටියද කියලා. දැනගෙන හිටිය නම් අපි පොලිසියට නොකිය ඉන්නවද? අපි තමයි එහෙනම් ඒක වළක්වන්නේ. මේ ඉන්සිඩන්ට් එකත් එක්ක මුනුත් අරුන් වගේද දන්නේ නැහැ කියන ප්‍රශ්නේ ඒ අයට හිතෙන්න පටන් ගත්තා. එක රැයකින් මිනිස්සු වෙනස් වුණා. ෆේස්බුක් එකේ. චැට් ගෘප්වල හිටපු යාලුවො ඒකෙන් පස්සේ සියලුම මුස්ලිම්වරු දැක්කේ ත්‍රස්තවාදියෝ විදිහට. මොහොමඩ් කියන නම තියනකොට හිතන්නෙම මූත් අරකට සම්බන්ධ එකෙක් වෙන්න ඇති කියලා. අපිව ඒ විදිහට හංවඩු ගහලා ඉවරයි මේ සමාජය. මේ ළඟදී අපි දෙන්න ගමනක් යන කොට තොටළඟදී මම ලේන් එක මාරු කරා. එතකොටම සයිඩ් එකෙන් බයික් එකක් ආවා. හැප්පෙන්න ගිය නිසා මම වාහනේ නැවැත්තුවා. බයික් එකේ මනුස්සයා බැහැලා ඇවිත් මුලින්ම ඇහුවේ මගේ නම. වාහනේ හැප්පෙන එකෙයි මගේ නමයි අතරේ සම්බන්ධය මොකක්ද?. මිනිස්සු කොච්චර පටු විදිහටද හිතන්නේ. එහෙම බැලුවොත් අපි කොච්චර බයෙන් ද ජීවත් වෙන්නේ. ඇක්සිඩන්ට් කියන්නේ හිතා මතා කරන දේවල් නෙවෙයි . ඒකනේ ඒවාට ඇක්සිඩන්ට් කියන්නේ."

"දෙපැත්තෙන්ම තැලෙනවා"


"අපි මේ විදිහට හිතන්නේ අපේ දෙමව්පියන්ට පිං සිද්ධ වෙන්න. අපේ පවුල් පසුබිමත් එක්ක ආගම කියල සේග්‍රිගේෂන් එකක් තිබ්බේ නැහැ. අපේ ආච්චිලා සීයලාගේ අධ්‍යාපනය මත තමයි අපේ දෙමව්පියන්ගේ චින්තනය හැදුනේ. ඒ නිසා අපට ඒ අභාෂය ලැබුණා. අපෙන් අපේ දරුවන්ට ඒ දේ යනවා. නමුත් ඔය වගේ කීදෙනෙක්ද ලංකාවේ ඉන්නේ? ඒ පවුලුත් අර බහුතරය ඉස්සරහ කරබාගෙන ඉන්න තත්ත්වෙට පත් වෙලා. කියල කියල හති වැටිලා ඉන්නේ. ඒ අය මුස්ලිම් බහුතරයෙනුත් තැලෙනවා. මුස්ලිම් වීම නිසා ඒ අය සිංහල බහුතරයෙනුත් තැලෙනවා නේද?, ඒ නිසයි මම රටින් යන්න හොයන්නේ."



Edited

About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.